ඇන්ජලා සෙනෙවිරත්න… වර්ෂ 1984දී ලංකාවේ රූ රැජන ලෙස අභිෂේක ලබන ඇන්ජලා, අනතුරුව විවාහක රූ රැජන ලෙසද කිරුළු පලඳිනවා. ඉන්පසු කලා ක්ෂේත්රයට පිවිසෙන ඇන්ජලා සම්මානනීය රංගන ශිල්පිනියක් ලෙස අසීමිත සහෘද රසික පර්ෂදයක ආදරය දිනාගන්නට සමත් වෙනවා. ද්වී භාෂා පරිචයක් සහිත ඇය ඉංග්‍රීසි නාට්‍ය වේදිකාවේත් ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍යවේදිනියක ලෙසත් කැපී පෙනෙන භූමිකාවක් සලකුණු කළ අතීතයක් තිබුණා. මේ ඇය මෑතක යූටියුබ් නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් පළ කළ අදහස්.. ගාමිණිව කොහොම ද හමුවුණේ? කොහොමද ඔහු යෝජනා කළේ ? “ෂුටින් ඉවර උන දවසක මගෙන් ඇහුවේ.
මට ස්ටූල් එකක වඩිවෙන්න කිව්වා. මම වාඩි වුණා. ඊටපස්සෙ පැය ගාණක් ගියාට පස්සෙ ඇහුවා පාට්නර් වෙන්න කියලා. මම ඇහුවා මැරේජ් ප්‍රපෝසල් එකක්ද? මට දරුවෙක් ඉන්නවා දික්කසාද වෙලා ආපු එක්කෙනෙක්නෙ මම, කියලා. සේනක පෙරේරායි එයාගේ වයිෆුයි ගාමිණියි මගේ ගේ දොරකඩට ආවා. ඔයා මා එක්ක එනවද, දරුවා එක්ක එනවද.. දැන් එනවද කියලා කෙළින්ම ඇහුවා..” “මම බයෙන් හිටියේ. මම ඉතින් අර බයටම මම එන්නම් කියලා බබාවත් අම්මවත් එක්කන් ගියා. ඉතින් මම එකඟ වුණා. බලන් ඉන්න කට්ටිය මට බනින්න එපා. ඒක අවුරුදු තිස් නවයකට විතර කලින් වෙච්ච දෙයක්. මම පවුල් කැඩුවේ නෑ. පවුලක් තියෙනවා කියලවත් මම දැනන් හිටියේ නෑ. වෙඩින් එක දවසෙයි මම දැනගත්තෙ මම එයාගේ අටවැනි බිරිඳ කියලා.
ඔහු මට පස්සෙ කිව්වා කසාඳ බැඳලා හිටියා, ළමයි ඉන්නවා කියලා. මම ඉතින් ඔක්කොම පිළිගත්තා. එයා කිව්වෙ අපිට කොළ කෑල්ලක් ඕනේ නෑ. මම ඔයාව තෝරනවා මගේ සහකාරිය හැටියට. ඉතින් අවුරුදු හතක් ඔහු එක්ක හිටියා. සුන්දර දේවල් ගොඩක් තියනවා..” “ගාමිණි එයා රඟපානකොට ඒ චරිතය උරා ගන්නවා. ගොඩක් වෙලාවක් යනවා ඒකෙන් මිදෙන්න. ඒ කාලේ මට හරි අමාරු උනා ඒක බැලැන්ස් කරගන්න. ඔහුගෙන් මට දියණියන් දෙන්නෙක් ඉන්නවා. පුදුම ආදරයක් දක්වනවා. මතුපිට ඉන්න කට්ටිය තමා ප්‍රශ්න ඇතිකළේ. ඒ පවුලත් දුරස් උනේ බාහිර මිනිස්සු නිසයි. ඒ වුණාට අවසාන කාලේ ළමයි එක්ක හිටියා.”
“පාර්ලිමේන්තු ගියාට පස්සෙ වෙන මිනිස්සු සම්න්ධ කරලා කතා හදලා තිබ්බා. මම හොඳ අම්මා කෙනෙක් නෙවේ කියලා.. මම හොඳ නැති චරිතයක් කියලා තිබ්බා. ගාමිණි ඒවා විශ්වාස කරලා මගේ ළමයි මගෙන් පැහැරගෙන ගියා. එයාගේ ආරක්ෂාවට හිටිය එක්කෙනෙක් තමයි අරන් ගියේ.. ඉතින් මම නඩු කියන්න ගත්තා. බොහොම කාලයක් ඉද්දි ඒ කියන්නෙ අවුරුදු හතරක් ගියා දරුවෝ ලබාගන්න. දැන් වැරදිකාරිය මම.. ගාමිණි නෙවේ.. මම තමයි ලස්සන කුරුලු කූඩුව කඩලා තියෙන්නෙ. මගෙන් පස්සෙ ආපු අය ගැන කවුරුත් කියන් නෑ..”