කුඩා කල පටන් සිය රංගන කෞශල්‍ය විදහා පාමින් පුංචි තිරයේ දස්කම්පාන ඇය දාංගලේ, ක්ලික් වැනි ටෙලි නාට්‍ය කිහිපයකින්ම ප්‍රේක්‍ෂක ඔබ හමුවට පැමිණියාය. මෙවර සුමති සම්මාන උළෙලේ ළමා තාරකාව ලෙසින් සම්මානයට පාත්‍ර වූ ඇය යෙනුලි මන්දාකිණි. පුංචි තිරය හැඩ කරන යෙනුලිගේ රංගන කෞශල්‍ය සැබැවින්ම නෙත් සිත් පිනවනසුලුය. ඉතින් මේ පුංචි රංගන ශිල්පිනිය යෙනුලි මන්දාකිණිගේ තතු බෙදා හදා ගැනීමට මෙවර හදගැස්ම පිළිසඳර සමඟ එකතු වුණා. ඉතින් කොහොමද යෙනුලි? ගොඩක් හොඳින් ඉන්නවා. අධ්‍යාපන කටයුතු කරන ගමන් සතුටින් ඉන්නවා. ඔයාගෙ විස්තර ටිකක් කියමුකො? මම සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. මගේ පළමු වැනි පාසල කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලය. ශිෂ්‍යත්වයෙන් පසුව ගෝතමී බාලිකා විද්‍යාලයට ගියා. අම්මයි, තාත්තයි, අක්කයි මායි තමයි මගේ පවුලෙ ඉන්නෙ. මගේ තාත්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙක්.
මගේ අම්මා ගෘහණියක්. අක්කා සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. මම හත ශේර්ණියේ ඉගෙන ගන්නේ. ඉතින් ඒවා තමයි විස්තර. මේ දිනවල දුවගෙ රඟපෑම් කටයුතු කොහොමද? මේ දිනවල එතරම් වැඩකටයුතු නැහැ. කෙටි චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තිබෙනවා. තාම ඒක පටන් ගත්තේ නැහැ. සුමති සම්මාන උළෙලේදී ඔයාට සම්මානයක් ලැබුණනේ. ඒ ගැන මොකද හිතෙන්නෙ? මට ලැබුණු සම්මානය තමයි 2020 ළමා තාරකාවට හිමි සම්මානය. ඉතින් මට ගොඩාක් සතුටුයි මේ සම්මානය ලැබුණු එක ගැන. මගේ උපන් දිනේ දවසෙම මේ සම්මානය ලැබුණු එක මට ඊටත් වඩා සතුටක්. දුව රංගනයට මුලින්ම එන්නෙ කොහොමද? මම රඟපාන්න එද්දි මට අවුරුදු අටයි. මගේ මාමා චතුර රාජපක්‍ෂත් රඟපානවා. මගෙ මාමත් රාවණා ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඉතින් ඒකට පොඩි ගැහැනු ළමයෙක් සොයනවා කියලා තිබුණා.
මාමා තමයි ඒකෙ ඔඩිෂන්වලට මාව එක්කගෙන ගියේ. ඒකෙන් මාව තේරුණා. මට රාවණා ටෙලි නාට්‍යයේ ‘සුපර්ණිකාගේ’ චරිතය ලැබුණා. දුව කොහොමද දාංගලේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ? දාංගලේ ටෙලි නාට්‍යයට කලින් මම තවත් ටෙලි නාට්‍ය දෙකක රඟපෑවා. මගේ මුල්ම ටෙලි නාට්‍ය තමයි ‘රාවණා’. ඊට පස්සේ තමයි ‘ක්ලික්’ ටෙලි නාට්‍යයේ රඟපෑවේ. ‘ක්ලික්’ ටෙලි නාට්‍යයේ හිටපු මාමා කෙනෙක් තමයි කිව්වේ මෙහෙම ටෙලි නාට්‍යයක් තිබෙනවා කියලා. ඊට පස්සේ මම ඔඩිෂන්වලට ගියා. ඒකෙන් තමයි මාව ‘දාංගලේ’ ටෙලි නාට්‍යයට තේරා ගත්තේ. දාංගලේ ටෙලි නාට්‍යයේ දුවගේ රංගනයට හොඳ ප්‍රතිචාර ලැබුණා නේද? ඔව්. මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මගෙ යාළුවොත් කිව්වා මම ගොඩාක් හොඳට රඟපෑවා කියලා. ගොඩාක් ලස්සනට ඒ චරිතය කළා කිව්වා. මගෙ යාළුවො හැමෝම වගේ ‘දාංගලේ’ ටෙලි නාට්‍ය බැලුවා. රඟපෑම් කටයුතු සහ අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන යන්න කවුද යෙනුලිට උදවු කරන්නෙ? මම දාංගලේ ටෙලි නාට්‍යයේ රඟපාන කාලේ පහ වසරේ හිටියේ. ඉතින් මම ශිෂ්‍යත්ව විභාගයයි, රංගනයයි බැලන්ස් කරගෙන කළා. මම ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 181ක් ලබාගෙන සමත් වුණා. මට ඒකට පවුලේ අය ගොඩක් උදවු කළා.
අම්මා හැමදාම මම ෂූටින් යද්දි මගේ පිටුපසින් ඉඳලා මාව බලා ගත්තා. ඒ වගේම මගේ අක්කා ශිෂ්‍යත්ව විභාගයට ගොඩක් උදවු කළා. ඒ වගේම මගෙ පාසලෙනුත් මට උදවු ලැබුණා. පහ වසරෙදි ඉස්කෝලෙ නිවාඩු ගන්න හරිම අමාරුයි. ඒ වෙලාවට ‘කමක් නෑ ඔයා ෂූටින්වලට යන්න’ කියලා මට ගොඩාක් උදවු කළා. ‘දාංගලේ’ ටෙලි නාට්‍ය රූගත කරන කොට අනිත් නැන්දලා මාමලාගෙන් ලැබුණු උදවු ගැන කියන්නකො? ඇත්තටම ඒ නැන්දලා මාමලා මට ගොඩාක් උදවු කළා. විශේෂයෙන්ම කතාවෙ මගෙ ආච්චිට හිටපු මල්කාන්ති ජයසිංහ ආච්චි අම්මා මට ගොඩක් උදවු කළා. ඒ වගේම මගේ අම්මට රඟපාපු පබෝධා සංදීපනී නැන්දත් මට ගොඩක් උදවු කළා. ඒ වගේම සුරාජ් මාපා මාමා මට ගොඩාක් උපදෙස් දුන්නා. ඩිරෙක්ටර් මාමා හැමතිස්සෙම මාව ළඟට අරගෙන හැමදේම කියලා දුන්නා. මම ඒ හැමෝටම ගොඩක් ආදරෙයි. ‘ආලියා’ ටෙලි නාට්‍යයේ දුවට ලැබුණු ප්‍රතිචාර කොහොමද? මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නෙවෙයි මම රඟපෑවෙ. නමුත් ඒ ටෙලි නාට්‍යයත් මගෙ යාළුවො ගොඩාක් බැලුවා.
හොඳ ප්‍රතිචාර ලැබුණා. දුවට අලුත් ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණෙ නැද්ද? ‘ආලියා’ ටෙලි නාට්‍යයෙන් පස්සෙ තවම ආරාධනා ලැබුණේ නැහැ. දුව චිත්‍රපටවල රඟපාන්න කැමැති නැද්ද? කැමැතියි. නමුත් තාම ආරාධනා ලැබුණේ නම් නැහැ. රඟපාන්න විතරක් නෙවෙයි යෙනුලිට තවත් හැකියා ඇති නේද? මට ලස්සනට නටන්න පුළුවන්. මම චන්දන වික්‍රමසිංහ රංගායතනයේ ශිෂ්‍යාවක්. ඒ වගේම සින්දු කියන්නත් පුළුවන්. නිවේදන කටයුතුත් සිදු කරනවා. දුවට ස්තුති කරන්න අයත් ඇති නේද? මම ගොඩාක් ස්තුති කරනවා හසුන් සමීර ඩිරෙක්ටර් මාමට. ඒ වගේම නිෂ්පාදන කටයුතු කරන ජනක සම්පත් මාමටත්, මගේ මාමටත් මට උදවු කරපු නැන්දලා මාමලා හැමෝටම ගොඩක් ස්තුතියි. හැමදාම මගේ ළඟින් හිටපු මගෙ පවුලේ අයටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම මට මේ සම්මානය ගන්න උදවු කරපු රංගන ශිල්පීන් හැමෝටමත් ගොඩාක් ස්තුති කරනවා. දුවගේ අනාගත බලාපොරොත්තු මොනවාද? මම ලොකු වෙලා බෑන්ක් මැනේජර් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අතරතුර දක්‍ෂ නිළියක් වෙන්නත් බලාපොරොත්තු වෙනවා. චමෝදි පෙරේරා